Uncategorized

වැඩ බලන පොලිස්පතිවරයා විසින් පසුගිය දා (22) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අදහස් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 උ(1) (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව පොලිස්පතිවරයා හැර පොලිස් නිලධාරීන්ගේ පත්කිරීමේ, උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීමේ සහ ඔවුන් සේවයෙන් පහ කිරීමේ බලය ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැවරී ඇති අතර, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය කිරීම හා සේවයෙන් පහ කිරීම පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල, පොලිස්පතිවරයා විමසා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුත්තේය යනුවෙනුයි එහි සඳහන් කර ඇත්තේ.

එමෙන්ම එකී බලතල එනම්, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය කිරීම හා සේවයෙන් පහ කිරීම පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සෑමවිටම පොලිස්පතිවරයා විමසා සිදු කරනු ලබන බවයි එහි සඳහන් කර තිබෙන්නේ.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 එ (1) ව්‍යවස්ථාවට අනුව යම් කාණ්ඩයකට අයත් පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීම සහ සේවයෙන් පහ කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිශ්චිතව දක්වනු ලැබිය හැකි කොන්දේසිවලට සහ කාර්යය පටිපාටිවලට යටත්ව පොලිස්පතිවරයා වෙත හෝ පොලිස්පතිවරයා වීමසා යම් පොලිස් නිලධාරියෙකු වෙත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පවරනු ලැබිය හැක්කේය යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

Related Articles

Back to top button