
ආනයනික සුදු සීනිවලට ප්‍රමුඛතාවය දීම හේතුවෙන් දේශිය සීනි කර්මාන්තය කඩා වැටිමේ දැඩි අර්බුදයකට මුහුණපා ඇති බව ලංකා සීනි පුද්ගලික සමාගමේ සේවකයින් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට සීනි සඳහා නිසි මිලක් හා වෙළෙඳපොළේ ප්‍රමාණවත් කොටසක් හිමි නොවීම දැඩි ගැටලුවක් වන බවයි.
පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් ලෙස ක්‍රියාත්මක වන සීමා සහිත ලංකා සීනි පුද්ගලික සමාගම 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ස්ථාපිත මෙරට විශාලතම සීනි නිශ්පාදකයායි.
මෙරට සීනි අවශ්‍යතාවයෙන් සියයට 10%ක ප්‍රමාණයක් ලංකා සීනි සමාගම මගින් නිශ්පාදනය කරන අතර මෙරට එතනෝල් අවශ්‍යතාවයෙන් 37%කට අධික ප්‍රමාණයක් සපයන්නේද ලංකා සීනි සමාගමයි.
මේ වන විට මෙරට සීනි නිශ්පාදනය කරන ප්‍රධාන කර්මාන්ත ශාලා 04ක් ක්‍රියාත්මක වන අතර සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාද සෘජුවම ලංකා සීනි සමාගම යටතේ ක්‍රියාත්මක වනවා.
ඊට අමතරව ඇතිමලේ සීනි කර්මාන්ත ශාලාව පෞද්ගලික ව්‍යවසායක් යටතේ නිශ්පාදන ක්‍රියාවලිය සිදු කරන අතර හිගුරාන සීනි කම්හල ක්‍රියාත්මක වන්නේ අර්ධ රාජ්‍ය හිමිකාරීත්වයක් යටතේයි.
කෙසේ වෙතත් මේ වන විට සීමා සහිත ලංකා සීනි පුද්ගලික සමාගම වැසී යාමේ අර්බුදයකට ලක්ව ඇති බව ගොවීන් පවසනවා.
ඔවුන් අවධාරණය කරන්නේ ලංකා සීනී සමාගම ඇතුළු දේශීය සීනි නිශ්පාදන කර්මාන්ත ශාලාවල සීනි නිශ්පාදන සඳහා සාධාරණ මිලක් නොමැතිකම සහ නිසි වෙළෙඳපොළ කොටසක් හිමි නොවීම හමුවේ මෙම ගැටලුව තීව්ර වන බවයි.
මේ වන විට දේශීයව නිශ්පාදනය කළ සීනි මෙට්‍රික් ටොන් 35,000කට අධික ප්‍රමාණයක් ගබඩා තුළ සිරවී ඇති අතර ආනයනික සුදු සීනි අධික ලෙස වෙළෙඳපොලට පැමිණිම හා ඒ සඳහා ආනයනික බදු ඉවත් කිරීම තුළින් දේශීය නිශ්පාදන සඳහා ඉල්ලුම අඩුවන බවයි ගොවීන් පවසන්නේ.
මෙවැනි පසුබිමක් තුළ ලංකා සීනි සමාගම හා අනෙකුත් දේශීය සීනි කම්හල් වැසීයාමේ අවධානම ඉහළ යන බවයි එහි සේවකයින් පවසන්නේ.
මෙම සියලු සීනි කර්මාන්ත ශාලාවල 9000කට අධික පිරිසක් සේවය කරන අතර ඒ ආශ්‍රිතව යැපෙන 100,000කට අධික පරිසක් ගැටලු රැසකට මැදිව තිබෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ මෙරට නිශ්පාදනය කරන සීනි සඳහා නිසි මිලක් ලබාදී , ආනයනික සීනි ගෙන්වීම නිසි පරිදි නියාමනය කරන ලෙසයි.



