
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවෙකු මියයෑමේ සිද්ධියට අදාළව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු මැයි මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (අප්‍රේල් 28) නියෝග කළේ ය.
මැගසින් බන්ධනාගාරයේ ජේලර්වරයෙකු සහ නියාමකවරු දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු සහ නියාමකවරයෙකු අතර ඊයේ (අප්‍රේල් 27) පෙරවරුවේ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී ඔවුන් තිදෙනා ම තුවාල ලබා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව අධිකරණයට දැන්වීය.
පොලීසිය සඳහන් කළේ, එලෙස රෝහල් ගත කෙරුණු එක් රැඳවියෙකු පසුව මියගොස් ඇති බවය.
මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 37 හැවිරිදි නවගම්පුර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.



