ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ (5) අභියාචනාධිකරණය හමුවේ සමථයට පත්කෙරුණි.
බස්නාහිර පළාත් රග්බි සංගමයේ ලේකම් රොෂාන් ඩීන් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
එම පෙත්සම මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ කැඳවනු ලැබීය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නිලධාරීන් පත්කර ගැනීම සඳහා නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා තීරණය කර ඇති බව සඳහන් කළේය.
ඒ සඳහා රග්බි සංගමයේ සහ ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ඇතුළු තුන්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.
එම කමිටුව විසින් නිලවරණයේ ඡන්ද හිමියන්ගේ නාමලේඛනය අනුමත කිරීමට නියමිත අතර, ඉන් පසුව නිලධාරින් තෝරා ගැනීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
එම නිලධාරින් තෝරාගැනීමෙන් පසුව ඔවුන් විසින් රග්බි සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හැකියාව තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එම කොන්දේසිවලට දෙපාර්ශ්වය එකඟතාවය පළකිරීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමථයට පත් කිරීමට නියෝග කෙරුණි.