Sports

කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයට ගිය අපේ කෙල්ලෝ.

කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයට ගිය අපේ කෙල්ලෝ.

චමරි අතපත්තුගේ සටන්කාමී ඉනිම අතරමඟ නතර වීමෙන් අනතුරු ව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යෑමේ වගකීම කරට ගත් අනුෂ්කා සංජීවනී, එක් පන්දුවක් ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණ කරා රැගෙන යමින් 2024 ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයේ අසුනක් ශ්‍රී ලංකාවට හිමි කර දුන්නා.

නිමා වූ ආසන්නත ම වසරේ ද අවසන් පූර්ව වටයේ දී පාකිස්තානය පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකවෝ සමත් වූ අතර එදා මෙන් ම මෙදා ද අවසන් මහා තරගයට අනෙක් අන්තයෙන් සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාවයි.

අද (26) රාත්‍රී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ 2 වැනි අවසන් පූර්ව තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ඉලක්කය අභිබවා යන්නේ එක් පන්දුවක් සහ කඩුලු 3ක් අතැතිවයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ සත්කාරක නායිකාවගේ තීරණය අභියෝගයට ලක් කරන්නේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් ලබා ගනිමිනුයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ සාර්ථක මෙහෙයුමක නිරත වූ ඔවුන් අතුරින් වැඩිම ලකුණු ලබා ගත්තේ Muneeba Ali විසින්. ඇය පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.

ඇය පළමු කඩුල්ලට Gull Feroza සමඟ එක් වෙමින් පන්දු 55ක දී ලකුණු 61ක් එක් කිරීමට ද සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Gull Feroza ගේ දැවී යෑමත් සමඟිනුයි.

ඒ වෙද්දී ඇය පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.

එම කඩුල්ලෙන් අනතුරු ව Aliya Riaz සහ Fatima Sana එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 31ක දී නොදැවුණ ලකුණු 41ක සබඳතාවක් එක් කිරීම සමත් වීම කැපී පෙණුනා. එහි දී Fatima Sana පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද සහ Aliya Riaz පන්දු 15කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව නායිකා Nida Dar ද පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී උදේශිකා ප්‍රබෝධනී ලකුණු 23කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කවීෂා දිල්හාරි ද කඩුලු 2ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු විසින් ආරම්භ කළ ද විෂ්මි ගුණරත්න පළමු වැනි පන්දු වාරයේ දී ම දවා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාවෝ සමත් වූනා. ලකුණු ලබා නොගත් ඇය ගේ ඉනිම පන්දු 3කට පමණක් සීමා වුවා.

අනතුරු ව පිටියට එක් වූ හර්ෂිතා සමරවික්‍රම ට ද එතරම් ම දායකත්වයක් මෙම තරගයේ දී දැක්වීමට ලැබෙන්නේ නැහැ. ඇය පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා සිටිය දී දැවී යනවා.

ඉන් පසුව ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 59ක සබඳතාවක් එක් කරමින් ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කිරීමට චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ කවීෂා දිල්හාරි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ඒ වෙද්දී ලකුණු 17ක් ලබා සිටියා.

ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවේ දී නිලක්ෂිකා සිල්වා (0) ද ඉනිම හැර යන අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 78 රැඳී තිබුණා.

එතැන් සිට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පන්දු 49ක දී ලකුණු 63ක් අවශ්‍ය වුනා. ඒ අසීරු ගමනේ දී තරගය ජයග්‍රහණයේ දෝලනය ශ්‍රී ලංකාවටත්, පාකිස්තානයටත් වරින් වර මාරු වෙමින් පවත්වාගෙන යෑමට චමරි අතපත්තු සහ අනුෂ්කා සංජීවනී සමත් වූනා.

තරගය ඒ ලෙසින් පවත්වාගෙන යෑමේ දී සුපුරුදු රටාවෙන් ප්‍රතිවිරුද්ධ අන්තයට පහරක් එල්ල කිරීමට ගිය නායිකා චමරි අතපත්තු අවශ්‍ය ම මොහොතක දැවී යන්නේ ශ්‍රී ලංකාව අනියත බියකට පත් කරමින්. ඇය දැවී යන්නේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 21ක් පමණක් අවශ්‍ය වූ මොහොතකයි.

ඇය දැවී යද්දී පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියා. මෙම අර්ධ ශතකය ඇයගේ 138ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 11 වැනි අර්ධ ශතකය වූවා.

කෙසේ වෙතත් ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 20ක දී ලකුණු 21ක් අවශ්‍ය වූවා. නමුත් චමරිගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි හසිනි පෙරේරා ද ලකුණු 3ක් පමණක් ලබා සිටිය දී නොතිබූ ලකුණක් කරා දුවන්නට ගොස් තම ඉනිම අවසන් කර ගැනීම ශ්‍රී ලංකා ඉනිමෙන් ජයග්‍රහණය දුරස් වන බවට ඉඟි පැවැසුනා.

ඒ වෙද්දී පිටියේ එක ම විශ්වාසවන්තිය වී සිටියේ අනුෂ්කා සංජීවනී. ඇය එක් අන්තයක තබා ගත් සුගන්දිකා කුමාරි තරගයට ජීවය එක් කරමින් 19 වැනි පන්දුවාරයේ දී හතරේ පහර 2ක් එක් කරමින් ජයග්‍රහණයට ළං වූවා. ඒ අනුව එම පන්දුවාරය අවසන් වෙද්දී ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය වූයේ ලකුණු 3ක් පමණයි.

ඒ අනුව එම තීරණාත්මක අවසන් පන්දුවාරය යැවීමේ අභියෝගය පාකිස්තාන නායිකා Nida Dar පවරා ගනු ලැබූවා. ඇය තමන් විසින් යැවුණ එම අවසන් පන්දුවාරයේ 2 වැනි පන්දුවේ දී සුගන්දිකා කුමාරි ගේ ඉනිම අවසන් කිරීමට සමත් වෙනවා. ඒ වෙද්දී සුගන්දිකා කුමාරි පන්දු 9ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා තිබුණා.

අනතුරු ව පිටියට පිවිසෙන්නේ අචිනි කුලසූරිය. ඇය තමන් මුහුණ දුන් 2 වැනි පන්දුවේ දී ලකුණක් වෙනුවෙන් අන්තයට මාරු කර ගනිමින් අනුෂ්කා සංජීවනී වෙත ඉලක්ක කරා යෑමට මඟ විවර කළා.

ඒ වෙද්දී තරගයේ තීරණය පන්දු 2කට පමණක් සීමා වී තිබූ අතර අවශ්‍ය ව තිබුණේ ද ලකුණු 2ක් පමණයි. Nida Dar විසින් යැවුණ 5 වැනි පන්දුව සීමාව ඉක්මවා ගිය පන්දුවක් සේ විනිසුරුවරිය ලබා දුන් තීරණයත් සමඟින් තරගයේ ලකුණු සම වූවා. එහෙත් විනිසුරුවරියගේ තීරණය සම්බන්ධයෙන් පන්දු යැවූ පාකිස්තාන නායිකාවගේ නම් එතරම් ම ප්‍රසාදයක් තිබුණේ නැහැ.

එම සීමාවන් ඉක්මවා ගිය පන්දුවට ලැබුණ පන්දුවේ දී Nida Dar ගේ හිසට ඉහළින් පහරක් එල්ල කරමින් අනුෂ්කා සංජීවනී ජයග්‍රාහී ලකුණු ලබා ගත්තා. තරගය ඒ ලෙසින් අවසන් වෙද්දී ඇය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Sadia Iqbal ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම භීතියට පත් කළා. එය ඇයගේ 40ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

ඇයට අමතර ව Omaima Sohail සහ Nida Dar ද කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැව140 (20.0) Gull Feroza 25, Muneeba Ali 37, Nida Dar 23, Fatima Sana නොදැවී 23, උදේශිකා ප්‍රබෝධනී 2/23, කවීෂා දිල්හාරි 2/30

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 141 (19.5) චමරි අතපත්තු 63, අනුශ්කා සංජීවනී නොදැවී 24, Sadia Iqbal 4/16

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

• තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන් අවසන් මහා තරගය මේ මස 28 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.

Related Articles

Back to top button