Sports

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු තරඟය අද

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු තරඟය අද

වත්මන් විස්සයි විස්ස ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන් තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය (27) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.  

ඉන්දීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට යෙදෙන්නේ 2021 වසරේ මෙරට පැමිණියාට පසුවයි. තරග 3කින් යුත් එම තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එදා සමත් වෙනවා. අනතුරු ව දෙරට ක්‍රීඩකයෝ නැවත ද්විත්ව තරගාවලි 2ක දී මුණ ගැසෙනවා. ඒ 2022 වසරේ දී සහ 2023 වසරේ දීයි. එම තරගාවලි ද්විත්වය ම පැවැත්වෙන්නේ ඉන්දියාවේදී වන අතර පළමු තරගාවලිය 3-0ක සහ 2 වැනි තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වෙනවා.   

මෙම තරගාවලිය එතැන් සිටයි.  

  • පළමු තරගය – ජුලි 27, (රාත්‍රී) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.
  • 2 වැනි තරගය – ජුලි 28, (රාත්‍රී) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.
  • 3 වැනි තරගය – ජුලි 30, (රාත්‍රී) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.

ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස නායක ලැයිස්තුවට 14 වැනියා ලෙසින් එක් වූ චරිත් අසලංකට තනිව තරගාවලියක් මෙහෙයවීමේ සුක්කානම හිමි වෙන පළමු අවස්ථාව මෙයයි. මීට පෙර චරිත් අවසථා 2ක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළා. ඒ බංග්ලාදේශයට එරෙහි ව මේ වසරේ මාර්තු මාසයේ එරට දී පැවැති තරගවලදීයි. එහි දී පළමු තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වෙන චරිත්ට 2 වැනි තරගයේ දී නම් එම දක්ෂතාව ඒ ලෙසින් ම දැක් වීමට හැකි වූයේ නැහැ.  

විවිධ හැල හැප්පීම් මධ්‍යයේ චරිත් ට ලද මෙම අවස්ථාවේ දී කලකට පසුව දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් පෙරේරා ද කණ්ඩායමට එක් කර තිබෙනවා. දිනේෂ් චන්දිමාල් අවසන් වරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර තිබෙන්නේ 2022 වසරේ දී ඉන්දියාවට එරෙහිව වන අතර අවිශ්ක ප්‍රනාන්දු පසුගිය මාර්තු මාසයෙන් පසුව ද සහ කුසල් පෙරේරා පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ද මෙසේ මෙම කණ්ඩායම හා එක් වෙනවා.  

ඊට අමතර ව නිමා වූ LPL තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනූ චමිඳු වික්‍රමසිංහ ද මෙම කණ්ඩායමට නම් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.  

මේ නවක වෙනස්කම් සමඟින් චරිත් ට මෙම තරගාවලියේ ප්‍රතිවාදීන් අණ්ඩුමට්ටු කිරීමට කදිම උපදේශක කමිටුවක් ද කණ්ඩායමෙන් ම වෙන් කර තිබෙනවා. ඒ හිටපු විස්සයි විස්ස නායකයන් වන දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, කුසල් පෙරේරා සහ වනිඳු හසරංග මෙන් ම එක්දින නායකයා වන කුසල් මෙන්ඩිස් ද මෙම කණ්ඩායමේ සාමාජිකයන් වී ඇති බැවිනුයි. 

කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පිතිකරුවෙන් ලෙසින් නම් කර ඇත්තේ දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා යි. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතර චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක සහ චමිඳු වික්‍රමසිංහ ද සහ පන්දු යවන්නන් ලෙසින් බිනුර ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක, මතීෂ පතිරණ මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාගේ යන ලැයිස්තු ගත ව සිටිනවා.  

මෙම ලැයිස්තුවේ මීට පෙර දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර ද රැදී සිටිය ද ඔවුන් ආබාධිතබවට පත් වීමත් සමඟ කණ්ඩායමෙන් ඉවත් කෙරුණ අතර ඒ වෙනුවටයි අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංක එක් කර ඇති අතර මේ අතර නවත ම ආරංචි මාර්ග අනුව බිනුර ප්‍රනාන්දුට ද හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බිනුර ප්‍රනාන්දුට ද කණ්ඩායමේ ස්ථානයක් අහිමි වෙනු ඇතැයි පැවැසෙනවා. එසේ වන පුරප්පාඩුවට රමේෂ් මෙන්ඩිස් එක් කර ගන්නා බවක් පැවැසෙනවා.     

චරිත් අසලංක හා සහෘදයන් ඒ ලෙසින් මෙම තරගාවලියට එක් වූව ද විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකාව සිටින්නේ එතරම් ම හොද ස්ථානය නොවේ. ඔවුන් මේ වෙද්දී අසුන් ගෙන සිටින්නේ 8 වැනි ස්ථානයේ යි. නමුත් ඉන්දියාව මෙම ලැයිස්තුවේ පළමු තැනේ සිටිමිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.  

එමෙන් ම ICC විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ පළමු 10 දෙනා අතර තිදෙනෙක් ම නියෝජනය කරන්නේ ඉන්දියාවයි. ඒ Suryakumar Yadav, Yashasvi Jaiswal සහ මෙම සංචාරය සඳහා එක් නොවෙන Ruturaj Gaikwad. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ස්ථානයක් වෙන් වෙන්නේ කුසල් මෙන්ඩිස් ලබා ගත් 21 වැනි ස්ථානය පැතුම් නිස්සංක ලබා ගත් 26 වැනි ස්ථානයයි.  

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දී ඉන්දියාවේ අභිබවා ශ්‍රී ලංකාව රැදී සිටිනවා. ඒ අනුව එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය වනිඳු හසරංග ද සහ 9 වැනි ස්ථානය මහීෂ් තීක්ෂණ ද රැදී සිටිනවා. ඉන්දියාවෙන් මෙම ලැයිස්තුව හා එක් වෙන Axar Patel 13 වැනි ස්ථානයේ ද සහ මෙම සංචාරය සඳහා එක් නොවෙන Kuldeep Yadav 15 වැනි ස්ථානයේ ද රැදී සිටිනවා. 

ශ්‍රී ලංකාවට එරෙහි ව පැමිණි ඉන්දීය කණ්ඩායම නම් කිරිමේ දී මීට පෙර 2023 වසරේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 7ක දී ද නායකත්වයේ කබාය පැළඳි 33 හැවිරිදි වියේ පසුවෙන  Suryakumar Yadav කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා.  

එමෙන් ම  ඔහුගේ උප නායකයා ලෙසින් පත් කර ඇත්තේ මීට පෙර පැවැති සිම්බාබ්වේ සංචාරයේ නායකත්වය හිමි වූ Shubman Gill ද මෙම කණ්ඩායම හා එක් ව සිටිනවා. ඔහුට අමතර ව Yashasvi Jaiswal, Rishabh Pant, Riyan Parag, Sanju Samson සහ Rinku Singh ද කණ්ඩායමට පිතිකරුවන් ලෙසින් එක් වෙනවා.  

තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් ඉන්දීය කණ්ඩායමේ පළමු පිළිගැනීම වී ඇත්තේ Hardik Pandya වෙතයි. ඔහුට අමතර ව Shivam Dube, Axar Patel සහ Washington Sundar ද මෙම කණ්ඩායම හා එක් කර තිබෙනවා.  

එමෙන් ම කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙසින් Khaleel Ahmed, Arshdeep Singh, Mohammed Siraj සහ Ravi Bishnoi කටයුතු කිරීමට සහයෝගයෙන් රැදී සිටිනවා.  

ඉන්දීය – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරග ඉතිහාසයේ දක්ෂතාවන් සැසඳීමේ දී ඉන්දීය ක්‍රීඩකයන්ට සුවිශේෂී පිළැනීමක් ලැබෙනවා.  

දෙරට ඉතිහාසය ගත්ත ද ඒ ලෙසින් ඉදිරියෙන් පසු වීමට ඉන්දියාව සමත් වීම විශේෂත්වයක්ඒ අනුව දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට ද්විත්ව රටවල තරගාවලියකට එක් වෙන්නේ මේ වසරේ ජනවාරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේදීයි. එහි දී තරග 3කින් යුත් තරගාවලියට 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වෙනවා.  

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 29ක් නිමා වී ඇති අතර ඉන් තරග 9ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙද්දී තරග 19ක ජයග්‍රහණ ඉන්දියාව සතු වෙනවා. අනෙක් තරගය නිමා වී ඇත්තේ විසඳුමක් නොමැති තරගයක් ලෙසයි.  

ශ්‍රී ලංකා සංචිතය 

චරිත් අසලංක (නායක), දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, චමිඳු වික්‍රමසිංහ, බිනුර ප්‍රනාන්දු / රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ.  

ඉන්දීය සංචිතය 

Suryakumar Yadav (නායක), Shubman Gill (උප නායක), Yashasvi Jaiswal, Rishabh Pant, Riyan Parag, Sanju Samson, Rinku Singh, Shivam Dube, Hardik Pandya, Axar Patel, Washington Sundar, Khaleel Ahmed, Arshdeep Singh, Mohammed Siraj, Ravi Bishnoi. 

Related Articles

Back to top button