ඊයේ (07) සවස් කාලයේ නෙළුම් කුලුණේ 29 වැනි මහලේ සිට 03 වැනි මහලට පැන ජාත්‍යන්තර පාසල් සිසුවියක් මියගොස් තිබුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් නෙළුම් කුලුණ පාලන අධිකාරිය විසින් මරදාන පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 16ක් වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ සිසුවියක්.
මෙම පාසල් සිසුවිය කොළඹ නගරයේ ජාත්‍යන්තර පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් බවත්, ඇය පාසල නිම වීමෙන් පසු නෙළුම් කුලුණ වෙත ගොස් 29 වන මහලෙන් පැන සිය දිවි හානි කර ගෙන ඇති බවත්, පොලිසිය සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
තවද අදාළ පාසල් සිසුවිය පසුගිය ජූලි 02දා කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පැන සියදිවි හානිකරගත් පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එම සිදුවීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවයි ඇයගේ පියා විසින් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් දන්වා තිබෙන්නේ.
කොළඹ 07 පිහිටි ජාත්‍යන්තර පාසලක මෙම සිසුන් තිදෙනාම අධ්‍යාපනය ලබා ඇති අතර, සිය මිතුරියත් මිතුරාත් සියදිවි හානිකරගෙන මාස තුනකට පමණ පසු ඇය සියදිවි හානිකරගෙන ඇත්තේද ඔවුන් සියදිවි හානිකරගත් ආකාරයටම බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.
එසේම මිතුරිය සියදිවි හානිකර ගැනීමට පෙර මෙම සිසුවියගේ මුහුණ සිඹ ගොස් තිබූ බවටයි වැඩිදුරටත් වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර, පාසල නිමවීමෙන් අනතුරුව ඇය කුරුඳුවත්තේ සිට නෙළුම් කුලුනට පැමිණ ඇත්තේ පාසල් නිල ඇඳුම සිය පොත් බෑගයේ දමාගෙන වෙනත් ඇඳුමකින් සැරසී බව පොලිසිය සඳහන් කරනවා.
පාසල් නිල ඇඳුම දැමූ පාසල් බෑගය නෙළුම් කුලුනේ නැරඹුම් ස්ථාන කොටසේ තිබී පොලිසියට හමුවී ඇති අතර, එහි තිබී සිසුවියගේ යැයි සැකකරන ජංගම දුරකථනයක්ද හමුවී තිබෙනවා.
කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පැන්න සිසුවියත් සිසුවාත් පාසල් නිල ඇඳුමින් පැමිණ පසුව එම නිවාස සංකීර්ණයේ දී ඇඳුම් මාරුකරගෙන ඉහළ මහලට ගොස් සියදිවි හානිකරගෙන තිබුණා.
නෙළුම් කුලුනෙන් පැන්න සිසුවිය නෙළුම් කුලුනට ඇතුළුවීමට ටිකට්පතක්ද රැගෙන 29 වැනි මහල ලෙස නම්කර ඇති නැරඹුම් මහලට ගොස් සිය සපත්තු ගලවා බැම්මට මතට නැඟ බිමට පැන ඇත්තේ සවස 3.30ත් 4.00ත් අතර බව පොලිසිය පවසනවා.
එම සපත්තු ජෝඩුවද විමර්ශනයේ දී පොලිසියට හමුවී ඇති අතර, ඇය බිමට පැන ඇත්තේද ආරක්ෂක නිලධාරීන් මෙන්ම නැරඹුම් මහලේ සිටි බොහෝ පිරිසක් මඟ හැර හුදෙකලා ස්ථානයකින් බව ද විමර්ශනයේ දී පොලිසියට පෙනී ගොස් තිබෙනවා.
නැරඹුම් මහලේ සිට බිමට පැන්න ඇය එහි දී වැටී ඇත්තේ තෙවැනි මහලේ කොන්ක්‍රිට් තට්ටුව මතටයි.
කොළඹ අල්ටෙයාර් ටවර් මහල් නිවාස සංකීර්ණයෙන් පැන්න සිසුවියත් සිසුවාත් වැටී තිබුණේ මෙසේ අතරමැදි මහලක් මතටයි.
සිසුවියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව, මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.