Local News

වේයන්ගොඩ නිධානයේ නවතම තත්ත්වය

වේයන්ගොඩ නිධානයේ නවතම තත්ත්වය

වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ග රක්ෂිතයේ නිධන් වස්තු ඇතැයි පැවසෙන ස්ථානයේ කැණීම් කටයුතු අද තෙවැනි දිනටත් ආරම්භ වුණා.

ඒ අනුව ඊයේ වනවිට මතුව තිබූ විශාල විශ්කම්භයකින් යුතු පාෂාණය කැබලිවලට කඩා පිටතට ගැණුනා.

පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙය මිථ්‍යා මත අනුව සිදු කරනු ලබන කටයුත්තක් බවයි.

වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ පිහිටි මෙම ස්ථානයේ නිධන් වස්තු ඇති බවට ඇතැමුන් තුළ මත පවතිනවා.

ඒ අනුව අදාළ ස්ථානයේ නිධන් වස්තු සොයා වරින් වර කැණීම් කළ බව කියන චීවරධාරියෙකු ඇතුළු නව දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

අවස්ථා 10ට අධික සංඛ්‍යාවකදි මේ ආකාරයෙන් කැණීම් සිදුකළ පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අධිකරණය අදාළ ස්ථානය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කැණීම් කිරීමට අත්තනගල්ල අධිකරණය නියෝග කර ඇත්තේ මෙම ස්ථානයේ නිරන්තරයෙන් නිධන් හෑරීම් සිදු කිරීම ගැන සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ අදාළ ස්ථානයේ කැණීම් සිදුකරන ලෙසයි අධිකරණය නියෝග කර තිබුණේ.

මෙම කැණීම සැලකෙන්නේ මෙරට රාජ්‍ය ආයතනවල මැදිහත්වීමකින් සිදු කෙරෙන පළමු නිධන් හැරීම ලෙසයි.

පසුගිය 21 වැනිදා පෙරවරුවේ එම කැණීම් කටයුතු ආරම්භ කළ අතර පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, රජයේ රස පරීක්‍ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය, ලේකම් කාර්යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් භූගත පරිලෝකන යන්ත්‍රයක ආධාරයෙන් පෙන්වා දුන් ස්ථානය බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන කැණීම් කටයුතු දින තුනක සිට සිදු කෙරෙනවා.

කෙසේ වෙතත් වගුරු සහිත බිමක පිහිටා ඇති මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණ කර ඇතත් මෙහි නිධානයක් හෝ පුරාවස්තු නොමැති බවට එම නිලධාරීන් අධිකරණයට අවස්ථා දෙකකදි තොරතුරු වාර්තා කර ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා හිරු කළ විමසීමකදි ප්‍රකාශ කළේ.

පුරාවිද්‍යාඥයින් ද පෙන්වා දෙන්නේ මෙය මිත්‍යා මත අනුව සිදු කරනු ලබන කටයුත්තක් බවයි.

කෙසේ නමුත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදු කළ පරීක්ෂණ කටයුතුවලදී අනාවරණ වී ඇත්තේ පොළොව අභ්‍යන්තරයේ පාෂාණවල යම් ලෝහ වර්ගයක් වැනි යමක් ඇති බවට නිරීක්ෂණය වී ඇති බවද වාර්නා වනවා.

මෙවන් පසුබිමක ඊයේ සිදුකළ කැණීම් පස්වරු 5ට පමණ අවසන් කළ අතර ඒ වන තෙක්ම එම ස්ථානයෙන් නිධානයක් වැනි කිසිවක් හමුවී තිබුණේ නැහැ.

අද පෙරවරුවේ එම කටයුතු යළි ආරම්භ කෙරුණේ අධිකරණ නියෝග මතයි.

Related Articles

Back to top button