
බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදයක් මතුව නොමැති පළාත් පාලන ආයතන 161ක ධූර කාලය අදින් (02) ආරම්භ වනවා.
ඒ අනුව, ආයතනවල නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන් මෙන්ම සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගේ නම් ද ඊට ඇතුළත් අතර, ඔවුන් අද සිට අදාළ ආයතනයේ කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව හිමි වන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.
අර්බුදයක් මතුව නොමැති පළාත් පාලන ආයතන 161ක සභික ලැයිස්තු ඇතුළත් ගැසට් නිවේදනය පෙරේදා මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව, ජාතික ජන බලවේගයේ ගම්පහ, පොළොන්නරුව, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පලාත් පාලන ආයතන සඳහා තේරි පත් වූ සභිකයින් පක්ෂ ප්‍රතිපත්ති වෙනුවෙන් ප්‍රතිඥා දීම ඊයේ සිදු කෙරුණා.
මහ නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා සභිකයන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් වූ පළාත් පාලන ඡන්ද විමසීම ඉකුත් මැයි 6 වැනිදා පැවැත්වුණා.
එහිදී පළාත් පාලන ආයතන 161ක බලය පිහිටුවීමේ ගැටලුවක් මතුව නොමැති බැවින් එම ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උපසභාපති යන තනතුරුවලට අදාළ නම් සහ සභිකයින්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අතරට මහා නගර සභා 14ක්, නගර සභා 12ක් සහ ප්‍රාදේශීය සභා 135ක් අයත්. එම පළාත් පාලන ආයත 161 තුළ නගරාධිපතිවරු 14ක්, උප නගරාධිපතිවරු 14ක්, සභාපතිවරු 147ක් සහ උප සභාපතිවරු 147ක් නම් කර තිබෙනවා.
ඒ අතරින් මහ නගර සභා 13ක නගරාධිපති ධුර සහ උප නගරාධිපති ධුර ජාතික ජන බලවේගයට හිමිව ඇති අතර අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ නගරාධිපති ධුරය ජාතික කොංග්‍රසයට හිමිව තිබුණා.
ගැසට් කර ඇති නගර සභා 12 ට අදාළව ජාතික ජන බලවේගයට හිමිව ඇති සභාපති ධුර ගණන 11 ක්.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි නගර සභාවේ සභාපති ධුරය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයටයි.
ගැසට් කළ ප්‍රාදේශීය සභා 135න් 127ක සභාපති සහ උප සභාපති ධුර 254ක් ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා.
සෙසු ප්‍රාදේශීය සභා 8හි සභාපති සහ උප සභාපති ධුර 16ක් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයටත්, ස්වාධීන කණ්ඩායම් අංක 01 ටත්, ජාතික කොංග්‍රසයටත් හිමිව තිබුණා.
කෙසේ වෙතත් පළාත් පාලන ආයතන 339න් 178කට අදාළව නගරාධිපතිවරු හෝ සභාපතිවරු මෙතෙක් නම් කර නැහැ.
ඒ, එම පළාත් පාලන ආයතනවල බහුතර බලය තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් අත්පත් කරගැනීමට සමත් නොවීම හේතුවෙන්.
ඒ අනුව, මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කොළඹ මහ නගර සභාව ඇතුළු මහ නගර සභා 14ක්, නගර සභා 24 ක් හා ප්‍රාදේශීය සභා 140කට ආයතන ප්‍රධානීන් පත් කර නැහැ.