ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා රජය 2024 ජුනි 26 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයහිමි කමිටුවේ (OCC) සාමාජිකයින් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීම පිළිබඳ අවසන් ගිවිසුමට එළඹිණි. ජපානය, ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන සංවර්ධන හවුල්කරුවකු ලෙස, ජපාන රජය ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සම්බන්ධීකරණ වේදිකාව ආරම්භ කිරීමට සහාය දුන් අතර OCC සමඟ ගිවිසුමට එළඹීමේ ක්‍රියාවලිය පුරාම වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.
OCC සමඟ ගිවිසුමට එළඹීම මෙන්ම අනෙකුත් ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලකිය යුතු ප්‍රගතිය සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ සහාය ඇතිව පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය පිළිබඳ විශ්වාසය වර්ධනය කිරීමට ඉවහල් වී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන කෙරෙහි විශ්වාසය සහ රටේ අනාගත අපේක්ෂාවන් පිළිබඳ නව ශුභවාදී හැඟීමක් සනිටුහන් කරමින් ජපානයේ අරමුදල් සහිත ව්‍යාපෘති කළඹ සඳහා මුදල් නැවත උපයෝජනය කිරීම පිළිබද වැදගත් තීරණය ජපාන රජය විිිසින් නිවේදනය කරන ලදී. මෙම සුවිශේෂී තීරණයත් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය, උපයෝගිතා ව්‍යාපෘති, සෞඛ්‍ය ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ඇතුළු අත්හිටුවා තිබූ ව්‍යාපෘති රටේ ආර්ථික හා සමාජීය දියුණුවට මං පෙත් විවර කරමින් යළි පණ ගැන්වෙනු ඇත.
විශේෂයෙන්ම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සබැදුම් ආශ්රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉතා වැදගත් වන අතර එය සංචාරක කර්මාන්තය, වෙළෙඳාම සහ ආයෝජන වැනි ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා මූලික දිරිගැන්වීමක් වනු ඇත.
අරමුදල් ලබා දීම නැවත ආරම්භ කිරීම පිළිබඳ, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සභාපති ආචාර්ය තනකා අකිහිකෝ මහතාගේ නිල නිවේදනය, ජයිකා ශ්‍රී ලංකා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත ඉඩෙ යූරි මහත්මිය විසින් මහා භාණ්ඩාගාරයේ සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා වෙත භාර දෙන ලදී.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පුරාවට ජපාන රජය විසින් ඉටු කරන ලද ප්‍රධාන කාර්යභාරය සහ දැනට ක්‍රියාත්මක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ප්‍රතිමූල්‍යකරණය කිරීමට තීරණය කළ ප්‍රමුඛයා වීම පිළිබඳව මහා භාණ්ඩාගාරයේ සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජපන් රජයට සිය අවංක කෘතඥතාව පළ කළේය.