
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන 2025 අප්‍රේල් මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 15.14% ක වැඩිවීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ, මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය (6.83% කින් ඉහළ යාම), යුරෝපා සංගමය (එක්සත් රාජධානිය හැර) (27.04% කින් ඉහළ යාම) සහ එක්සත් රාජධානිය (7.45% කින් ඉහළ යාම) වැනි ප්‍රධාන වෙළඳපොළවලින් ලැබුණු දැඩි ඉල්ලුම හේතු වී ඇති බවයි. අනෙකුත් රටවල් වෙත සිදු කෙරුණු අපනයන ද මෙම මාසය තුළ 21.18% කින් ඉහළ ගොස් ඇත.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා සමස්ත කාර්යසාධනය දෙස බලන විට මුළු ඇඟලුම් අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1.66 ක් වූ අතර එය 2024 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 12.4% ක වැඩිවීමකි. මෙම පරිච්ඡේදය තුළ යුරෝපා සංගමයට අපනයන 18.13% කින්, ඇමරිකා එක්සත් ජනපදයට 10.06% කින්, අනෙකුත් වෙළඳපොළවල් 13.56% කින් සහ එක්සත් රාජධානියට 6.26% කින් වර්ධනය විය.
ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තරඟකාරිත්වය මෙම ප්‍රතිඵල මගින් පෙන්නුම් කරයි.