Sports

33 වැනි ගිම්හාන ඔලිම්පික් උලෙළේ සමාප්තිය සනිටුහන් වෙයි.

33 වැනි ගිම්හාන ඔලිම්පික් උලෙළේ සමාප්තිය සනිටුහන් වෙයි.

සිව් වසරකට වරක් උදාවන විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය වන 33 වැනි ගිම්හාන ඔලිම්පික් උලෙළේ සමාප්තිය අද අළුයම සනිටුහන් වුණා.

ඒ, මෙවර ඔලිම්පික් උලෙළේ ප්‍රධාන ක්‍රීඩාංගණය වූ ප්‍රංශයේ ස්ටෙඩි ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අති උත්කර්ෂවත් සමාප්ති උළෙලකින් අනතුරුවයි.

කෙසේ වෙතත් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සහ අමෙරිකාව අතර පැවැති තියුණු සටනකින් පසු අමෙරිකාව සුපුරුදු පරිදි එහි පෙරමුණ ගත්තා.

දින 16ක් පුරා ලොවම ඒකාලෝක කරමින් දිගහැරුණු 2024 පැරිස් ඔලිම්පික් උලෙළේ අවසන් දිනයේ තරග ඉසව්වන් ඊයේ ක්‍රියාත්මක වුණා.

එහිදී මෙවර ඔලිම්පික් උලෙළේ අවසන් මලල ක්‍රීඩා ඉසව්ව වූ කාන්තා මැරතන් තරගයේ රන් පදක්කම දිනා ගන්නට නෙදර්ලන්තයේ සිෆාන් හසන්ට හැකියාව ලැබුණා.

ඒ තරගය පැය 2යි විනාඩි 22යි තත්පර 55කින් තරගය අවසන් කරමින්.

අවසන් දිනයේ තරග ආරම්භය වන විට චීනය සහ අමෙරිකාව අතර ලෝක ක්‍රීඩා බලය අල්ලන්නට තියුණු සටනක් නිර්මාණය වී තිබුණු අතර එහිදි පදක්කම් සටහනේ පෙරමුණ තීරණය කෙරුණු ඉසව්ව බවට පත් වුණේ කාන්තා පැසිපන්දු ඉසව්වේ අවසන් තරගයයි.

එහිදී අමෙරිකානුවන්ගේ ප්‍රතිමල්ලවයින් බවට සත්කාරක ප්‍රංශයට පත්වෙද්දී ,ලකුණු 67ට 66ක් එක් ලකුණක තියුණු ජයක් අමෙරිකානු ක්‍රීඩිකාවන් සතු වුණා.

ඒ අඛණ්ඩව 8 වැනි වරටත් කාන්තා පැසිපන්දු ඉසව්වේ රන් පදක්කම සිය දෝතට ගනිමින්.

මේ සමග පැරිස් ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් 329ක් වෙනුවෙන් රටවල් 206ක් ගැටුණු සටන අවසන් වුණේ පදක්කම් සටහනේ පෙරමුණ අමෙරිකාවට හිම්කර දෙමින්.

ඔවුන් රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සමග සමස්ත පදක්කම් 126ක් දිනාගත්තා.

අමෙරිකාව මෙලෙසින් ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගත් 19 වැනි අවස්ථාව ද මෙයයි.

චීනය ද රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24කට හිමිකම් කියමින් දෙවැනි ස්ථානයට පත් වුණා.

ඔවුන් දිනූ සමස්ත පදක්කම් සංඛ්‍යාව 91ක්.

රන් 20ක් දිනූ ජපානය එහි තුන්වැනි ස්ථානයට හිමිකම් යද්දී ,රන් 18ක් දිනූ ඔස්ට්‍රේලියාවට සිව්වැනි ස්ථානය හිමිවුණා.

සත්කාරක ප්‍රංශය එහි පස්වැනි ස්ථානයට පත් වුණේ රන් පදක්කම් 16ක් ද සමගයි.

33 වැනි ගිම්හාන ඔලිම්පික් උලෙළේ තරග ඉසව්වන්ගේ නිමාවත් සමග සමාප්තිය සනිටුවන් කිරීම සඳහා මෙවර ඔලිම්පික් උලෙළේ ප්‍රධාන ක්‍රීඩාංගණය වූ ප්‍රංශයේ ස්ටෙඩි ෆ්‍රාන්ස් පිටිය ඉඩහසර වෙන් කර ගත්තා.

එහිදී දල්වන ලද ඔලිම්පික් ගිණිසිළුව ක්‍රීඩාංගණය වෙත රැගෙන ආවේ මෙවර ඔලිම්පික් උලෙළේ කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත්වෙමින් පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 4ක් දිනූ ප්‍රංශයේ ලියොන් මාර්චන්ඩ්.

රටවල් 206 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාංගණයට පියනැගුවේ මෙලෙසින්.

අනතුරුව මෙවර ඔලිම්පික් උලෙළේ සාර්ථකත්වය වෙනුවෙන් කැප වූ ස්වෙච්ඡා නිලධාරී හතලිස් පන්දහස වෙනුවෙන් ගෞරවය පුද කරන්නටත් පැරිස් ඔලිම්පික් සංවිධායකයින් අමතක කළේ නැහැ.

නැටුම් ගැයූම් සහ විචිත්‍රවත් වූ මල්වෙඩි සහ ත්‍රීමාණ තාක්ෂණය උපයෝගී කරගනිමින් වර්ණවත් වූ සමාප්තිය උලෙළ කාගෙත් සිත් ඇඳ බැඳ ගත්තා.

ඒ අතරවාරයේදී මෙවර ඔලිම්පික් උලෙළේ අවසන් මලල ක්‍රීඩා ඉසව්ව වූ කාන්තා මැරතන් තරගයේ ජයග්‍රාහකයින්ට හිමි රන් පදක්කම් ප්‍රධානය ද සිදු කෙරුණේ සාම්ප්‍රදායික ලෙසටයි.

එය මෙවර ඔලිම්පික් උලෙළේ අවසන් පදක්කම් ප්‍රදානය ද වුණා.

අනතුරුව 33 වැනි ගිම්හාන ඔලිම්පික් උලෙළේ සමාප්තිය සනිටුහන් වූ බවට ලොවට ප්‍රකාශ කළේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානී තෝමස් බැජ්.

තෝමස් බැජ් ලබන වසරේදී ජගත් ඔලිම්පික් කමිටු සභාපති ධුරයෙන් සමුගැනීමට ද නියමිතයි.

රැස්ව සිටි 75,000කට අදික ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමින් සුපිරි හොලිවුඩ් නළු ටොම් කෲස් ඔලිම්පික් ධජය ක්‍රීඩාංගණය වෙත රැගෙන ආවා.

මීලඟ ගිම්හාන ඔලිම්පික් උලෙළ වන 2028 අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළට ටොම් කෲස් පෙරගමන් ගියේ මෙලෙසින්.

එය සංකේතවත් කරමින් ඊට අදාළ ඔලිම්පික් ධජය ලොස් ඇන්ජලීස් නගරාධිපතිනිය වන කැරන් බාස් වෙත භාර දෙනු ලැබුවා.

ඒ අනුව දින 16ක් පුරා පුවත් මවමින් දිගගැරුණු විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළියේ ගිණිසිළුව මෙලෙසින් පැරිස් නුවරදී නිවී යද්දී, එය තවත් සිව් වසරකින් ලොස් ඇන්ජලීස් නුවරදී නැවූම් වූ බලාපොරොත්තු සමඟ යළි දැල්වෙනු ඇති.

Related Articles

Back to top button