
ඉකුත් දා එල්ල වූ ඉන්දීය ගුවන් ප්‍රහාරවලින් බිරිඳ සහ දරුවන් ඇතුළු සිය පවුලේ සාමාජිකයින් 10 දෙනෙකු මිය ගිය බව පාකිස්ථානයේ ක්‍රියාත්මක Jaish-e-Mohammed සංවිධානයේ නායක මසූඩ් අස්හාර් (Masood Azhar) තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක් වන Jaish-e-Mohammed (JeM) හි නායකයා වන මසූඩ් අස්හාර් ප්‍රකාශ කර ඇත්තේ, මෑත කාලීන ඉන්දීය ගුවන් ප්‍රහාරවලින් ඔහුගේ බිරිඳ, සහෝදරිය සහ ලේලියන් සහ බෑණනුවන් කිහිප දෙනෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් දස දෙනෙකු මිය ගිය බවයි.
මැයි 7 වැනි දා නිකුත් කළ ප්‍රකාශයක අසාර් කියා සිටියේ, තුවාල ලැබූවන් අතර ඔහුගේ සමීපතම සහායකයින් හතර දෙනෙකු ද සිටින බවයි.
ඔහු එම ප්‍රහාර සියලු සීමාවන් ඉක්මවා ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස හැඳින්වූ අතර දැන් කිසිදු අනුකම්පාවක් අපේක්ෂා නොකළ යුතු බවට අනතුරු අඟවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, පෙර දා රාත්‍රියේ පාකිස්ථානය සහ පාකිස්ථාන පාලිත කාශ්මීරය හරහා ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ ස්ථාන නවයකට ඉන්දියාව විසින් ප්‍රහාර එල්ල කළා.
එහි ප්‍රධාන ඉලක්කයක් වී තිබුණේ, පන්ජාබ් පළාතේ බහවල්පූර් හි පිහිටි Jaish-e-Mohammed සංවිධානයේ මූලස්ථානයයි.



