
බේරේ වැව ජලතර ගුවන් තොටුපලක් (water Aerodrome ) ලෙස භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමේ අවස්ථාව අද ( 03)දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ සැලසුමේ එක් පියවරක් වූ දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙසයි මෙම කොළඹ – කටුනායක ගුවන් ගමන් ආරම්භ කර තිබෙන්නේ.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ජලතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන සිනමන් ගුවන් සමාගම මෙම කොළඹ- කටුනායක ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබනවා.
කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණෙන සංචාරකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවට කෙටි වේලාවකින් සුව පහසුව කොළඹ නගරය වෙත කාර්යක්ෂමව ගමන් කිරීමේ අවස්ථාව මෙම නව ගුවන් ගමන් ආරම්භයත් සමඟ උදාවනවා.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න ඇතුළු පිරිසක් රැගත් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 මාදිලියේ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ සිට Cinnamon Lake side Pire දක්වා මෙම සමාරම්භක ගුවන් ගමන ක්‍රියාත්මක වුණා.
“අපි ආණ්ඩුවක් විදියට දේශීය ගුවන් සේවාවන් දියුණු කරන්න බලාපොරොත්තු වනවා. Cinnamon Air වගේ සමාගම් සියල්ලටම අපි ආරාධනා කරනවා පලාලි වගේ ගුවන් තොටුපොලවලටත් දේශීය ගුවන් වාර ආරම්භ කරන්න එන්න කියලා.
අපි ආණ්ඩුවක් වශයෙන් ඔබට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට බැදී සිටිනවා” යැයි අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී ප්‍රකාශ කළා.
2011/2012 වර්ෂ වල ශ්‍රි ලංකන් ගුවන් සමාගම ද ජලතර ගුවන් ආරම්භ කරනු ලැබු අතර එවකට පැවති දැඩි ආරක්ෂක නියාමනයන් සහ දුෂ්කරතා හේතුවෙන් එම සේවාව අත් සිටවනු ලැබුවා.
නව රජය පත් වීමත් සමඟම දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීම සහ නීතී රීතී ලිහිල් කිරීම මත එම සේවාව සැපයීමට සුදුසු පරිසරයක් නිරිමාණය වී ඇති බැවින් සිනමන් ගුවන් සේවය මෙම සේවාවන් නැවත ආරම්භ කිරීම සංචාරක ක්ෂේත්රයේ ප්රගමනයට මහත් රුකුලක් වනවා.
සිනමන් ගුවන් සමාගම මේ වන විට නුවර, මඩකලපුව, සීගිරිය, කොග්ගල, වීරවිල, හැටන්, ත්‍රිකුණාමලය ආදී දේශීය සංචාරක ගමනාන්ත 10 ක් වෙත ගුවන් ගමන් සිදු කරනු ලබනවා.
මෙම බේරේ වැව ආශ්‍රීත ජලතර ගුවන් තොටුපලට අමතරව නුදුරේදීම කොළඹ වරාය නගරය සඳහා ද මෙවැනි ජලතර ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා පරීක්ෂා කිරීම් සිදු කරමින් පසු වන බවද, කොළඹ නගරය සඳහා නව හෙලිකොප්ටර් නැවතුම් අංගන දෙකක් හදුන්වා දීම සඳහාද කටයුතු කරමින් පවතිනවා.
මේ වන විට ජලතර ගුවන් තොටුපල 22 ක් නිසි පරීක්ෂා කිරීම්වලින් පසුව මෙහෙයුම් සඳහා අනුමත කර ඇති බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.



