යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියෝග කර ඇති සංක්‍රමණිකයන්, සංගමයට අයත් නොවන තෙවන පාර්ශවීය රටවල පිහිටි මධ්‍යස්ථාන වෙත යැවීමට අවසර දෙන නව නීති මාලාවකට යුරෝපා සංගමයේ නීති සම්පාදකයින් සහ රටවල් විසින් එකඟතාවයකට පැමිණ ඇත.
කෙසේ වෙතත්, මෙම පියවර හරහා මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවිය හැකි බවට මානව හිමිකම් කණ්ඩායම් දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
දක්ෂිණාංශික දේශපාලන පක්ෂවලින් එල්ල වන බලපෑම් හමුවේ යුරෝපා සංගමයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කිරීමේ පුළුල් පියවරක කොටසක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව ඳසහන් වේ.
එහෙත්, පසුගිය වසරේදී නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම 26% කින් පහත වැටී තිබූ අතර, එය 2021 වසරෙන් පසු වාර්තා වූ අවම අගය ඒය බව පෙන්වා දී තිබේ.
යුරෝපා සංගමයේ රජයන් සහ යුරෝපීය පාර්ලිමේන්තුවේ නිල අනුමැතිය තවමත් අවශ්‍ය වන මෙම නව පනත් කෙටුම්පත, පසුගිය වසරේදී යුරෝපීය කොමිසම විසින් යෝජනා කරන ලද්දකි.
කොමිසම පවසන්නේ මෙමඟින් මූලික අයිතිවාසිකම්වලට ගරු කරමින්, පුද්ගලයන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ ඒ සඳහා රජයන්ට වැඩි ඉඩක් ලැබෙනු ඇති බවය.
කෙසේ වෙතත්, මානව හිමිකම් සංවිධාන එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.
ලියකියවිලි රහිත සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සහයෝගිතා සංසදයේ (PICUM) ප්‍රකාශ කළේ, “මෙම රෙගුලාසිය මඟින් අතිශය දැඩි රැඳවුම් සහ පිටුවහල් කිරීමේ යාන්ත්‍රණයක් නිර්මාණය වනු ඇති” බවය.
යුරෝපා සංගමයේ රටවල් පවසන්නේ ප්‍රතික්ෂේප කරන ලද සරණාගත ඉල්ලුම්කරුවන් සහ වීසා කාලය ඉක්මවා රැඳී සිටින්නන් තම රටවලින් පිටත් කර හැරීමට තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බවය.
කොමිසමට අනුව, දැනට රටින් පිටවීමට නියෝග ලැබූවන්ගෙන් ඉවත් වන්නේ 20% කට ආසන්න ප්‍රමාණයක් පමණි.
මෙම නව නීතිය යටතේ සරණාගත ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වූ හෝ යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියෝග ලැබූ පුද්ගලයන් සඳහා යුරෝපා සංගමයෙන් පිටත “පිටුවහල් කිරීමේ මධ්‍යස්ථාන” පිහිටුවීමට යුරෝපා සංගමයේ සාමාජික රටවලට හැකියාව ලැබේ. පිටුවහල් කරනු ලබන පුද්ගලයන්, ඔවුන් සමඟ කිසිදු සම්බන්ධයක් නැති රටවල පිහිටි මධ්‍යස්ථාන වෙත වුවද යැවීමට මෙයින් අවකාශ සැලසේ.
යුරෝපීය කොමසාරිස් Magnus Brunner පවසා ඇත්තේ, මෙම නව නීති හරහා යුරෝපා සංගමයට පැමිණිය හැක්කේ කාටද, රැඳී සිටිය හැක්කේ කාටද සහ ඉවත් විය යුත්තේ කාටද යන්න පිළිබඳව වඩා වැඩි පාලනයක් ලැබෙනු ඇති බවය.
කෙසේ වෙතත්, සංක්‍රමණිකයන් භාරගන්නා විදේශීය රටවල් මොනවාද යන්න සාමාජික රටවල් මෙතෙක් හෙළි කර නොමැත.
මෙම පනත් කෙටුම්පත මඟින් රැඳවුම් කාල සීමාවන් දීර්ඝ කරන අතර, සහයෝගය නොදක්වන්නන් සඳහා ඇතුල්වීම් තහනම් කිරීම්, දඩ මුදල් සහ සාපරාධී දඬුවම් ද හඳුන්වා දී තිබේ.
එමෙන්ම, බලධාරීන්ට සංක්‍රමණිකයන්ගේ දේපළ රාජසන්තක කිරීමට, බාලවයස්කරුවන් රඳවා තබා ගැනීමට, ජෛවමිතික දත්ත රැස් කිරීමට සහ නිවාස පරීක්ෂා කිරීමට ද අවසර හිමි වේ.
ඇතැම් යුරෝපා සංගමයේ රටවල් දැනටමත් මෙවැනි ක්‍රමවේදයන් ගවේෂණය කිරීමට පටන් ගෙන ඇත. නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය, ග්‍රීසිය සහ ඔස්ට්‍රියාව සමඟ එක්ව ඒකාබද්ධ පිටුවහල් කිරීමේ සහ සංක්‍රමණික මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරමින් සිටින අතර, උගන්ඩාව සමඟ මේ සම්බන්ධයෙන් පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා දැනට තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.