Local News

පිරවුම්හල් හිමියන් අද ජනපති හමුවෙයි

පිරවුම්හල් හිමියන් අද ජනපති හමුවෙයි

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඉන්ධන පිරවුම්හල් හිමියන් අද (03) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඉන්ධන බෙදුම්කරුවන් අතර මෙතෙක් පැවැති බෙදුම්කාරීත්ව ගිවිසුම අනුව පිරවුම්හලකින් අලෙවි කෙරෙන සෑම ඉන්ධන ලීටරයකටම ලබාදුන් 3% වට්ටම අහෝසි කිරීමට සංස්ථාව පසුගියදා තීරණය කළා.

එම තීරණයත් සමග අලුතින් ඉන්ධන ඇණවුම් නොකිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කළේ පසුගිය සිකුරාදායි.

මෙම සිද්ධියත් සමග සති අන්තයේ ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, ඉන්ධන ඇනවුම් නොකිරීමට ගනු ලැබූ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ලංකා ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ශාන්ත සිල්වා කියා සිටියා.

එවන් පසුබිමක ඉන්ධන නිකුත් කිරීමේදී බැංකු සහ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් ගෙවීම් කිරීමට පාරිභෝගිකයන්ට ලබාදී තිබූ අවස්ථාවද අහිමි කිරීමට සිදුවිය හැකි බවයි ලංකා ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සදහන් කළේ.

කෙසේ වෙතත්, ඉන්ධන බෙදුම්කරුවන් වෙත ලබාදුන් 3%ක වට්ටම අහෝසි කිරීමට ගත් තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

මේ අතර, ඉන්ධන පිරවුම්හල් රාත්‍රි 08.00 ට වසා දමන බවට සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත පිළිබද හිරු ප්‍රවෘත්ති අංශය සොයා බැලීමක් සිදු කළා.

එහිදී ඉන්ධන පිරවුම්හල්වල පොම්පකරුවන් කියා සිටියේ තමන් එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් නොදන්නා බවයි.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් පැය 24 පුරා ක්‍රියාත්මක බවද ඔවුන් ප්‍රකාශ කළා.

Related Articles

Back to top button