
රටේ ජීවනාලිය බඳු ළමයින් ආරක්ෂා කර ගැනීම අප සැමගේ යුතුකමක් වන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා.
ඒ අනුව, සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන්, හිංසනයන්ගෙන් මෙරට සියලු ළමුන් ආරක්ෂා කිරීම සඳහා වන සැමගේම කාර්යභාරය සමාජය වෙත ගෙන යාමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිසැකයෙන්ම කටයුතු කරන බවයි එහි සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ සඳහන් කරන්නේ.
<em>“ආදරෙන් සුරකින්න – අපිට ලොව දිනන්නට“ </em>යන තේමාව තහවුරු කරමින්, සියලුම දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, භාරකරුවන් ඇතුළු සියලු පුරවැසියන් විසින් මෙම තේමාව තහවුරු කිරීමට කාලය එළඹ ඇති බවද සභාපතිවරිය පෙන්වා දෙනවා.
වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයෙක්ම ළමා අයිතිවාසිකම් මෙන්ම ශාරීරික, මානසික, ලිංගික හිංසනයන්ගෙන් සහ නොසලකා හැරීම්වලින් තොර සමාජයක ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කළ යුතු අතර, අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු පොදු සමාජ වගකීම තහවුරු කිරීමට සැවොම අත්වැල් බැඳගත යුතු බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.





