
පවතින ලෝක ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය කළමනාකරණය කරගැනීම සහ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයෙන් සිසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, බලශක්ති අර්බුදය හේතුවෙන් සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සතියකට දින හතරක් පමණක් පැවැත්වීමට තීරණය කර ඇති බවත්, ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සෑම සතියකම බදාදා දිනය පාසල් නිවාඩු දිනයක් ලෙස සලකනු ලබන අතර, එම දිනවල සිසුන් නිවසේ සිට ස්වයං ඉගෙනුම් කටයුතුවල නිරත වීම සඳහා අවශ්‍ය පැවරුම් ලබා දීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, විෂය නිර්දේශ ආවරණය කිරීමට ඇති කාලය සීමිත බැවින් පාසල් කාලය තුළ උත්සව හෝ බාහිර වැඩසටහන් පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු අතර, ඉන්ධන අධික ලෙස වැයවන රථ පෙළපාලි පැවැත්වීම සහ අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
තවද, පවතින දැඩි රශ්මිය හේතුවෙන් සිසුන්ට ඇතිවිය හැකි විජලනය, මස්පිඬු පෙරලීම (Heat Cramps), අධික මහන්සිය (Heat Exhaustion) සහ ආඝාත තත්ත්වයන් (Heat Stroke) වළක්වා ගැනීම සඳහා පහත පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇත්තේ.
එළිමහන් ක්‍රියාකාරකම්: අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩාපිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වළක්වා ගත යුතුය.
ජල පරිභෝජනය: පිපාසයක් නොමැති වුවද වැඩිපුර ජලය පානය කිරීමට සිසුන් යොමු කළ යුතු අතර, ඒ සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීම සුදුසු වේ. සීනි අධික පැණි බීම වෙනුවට තැඹිලි, කුරුම්බා වැනි ස්වභාවික පාන වර්ග භාවිතය දිරිමත් කෙරේ.
පැළඳුම්: අවශ්‍ය අවස්ථාවලදී ටයි පටිය නොපැළඳීමට හෝ එය බුරුල් කිරීමටත්, බඳ පටි පැළඳීම අවම කිරීමටත් අවසර හිමි වේ. තද වර්ණ වෙනුවට ළා පැහැති ළිහිල් කපු ඇඳුම් ඇඳීම සහ අව්වේ යන විට කුඩයක් හෝ හිස්වැසුමක් භාවිත කිරීම නිර්දේශ කර ඇත.
පන්ති කාමර කළමනාකරණය: වාතාශ්‍රය හොඳින් ලැබීම සඳහා දොර ජනෙල් විවෘතව තැබිය යුතුය. ටකරන් වහල සහිත අධික රස්නය ඇති පන්ති කාමර හැකි නම් තාවකාලික සිසිල් ස්ථාන වෙත මාරු කළ යුතුය.
මෙම උපදෙස් පිළිබඳව සියලුම විදුහල්පතිවරුන් සහ පරිවේනාධිපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව විසින් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත දන්වා තිබෙනවා.



