Local News

කළුබෝවිල විදෙස් කාන්තාව ඝාතනය කළ චීන ජාතිකයා කොල්ලුපිටියේදී අත්අඩංගුවට

කළුබෝවිල විදෙස් කාන්තාව ඝාතනය කළ චීන ජාතිකයා කොල්ලුපිටියේදී අත්අඩංගුවට

කලුබෝවිල ප්‍රදේශයේදී ඉකුත් මාර්තු මස විදේශීය කාන්තාවක තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි චීන ජාතිකයෙක්.

ඉකුත් 23 වැනිදා කොහුුවල පොලිස් වසමට අයත් කලුබෝවිල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක කාමරයක් තුළදී මෙම විදේශීය කාන්තාව තියුණු ආයුධයකින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කර තිබිණා.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුුවල පොලිසිය මගින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, අපරාධකරු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටියා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, ඊයේ (05) දහවල් කොල්ලුපිටිය පොලිස් වසමේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි හෝටලයක රැඳී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී කැමරා 03ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 20ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් චීන ජාතික සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොහුුවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, සැකකරු අද (06) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

කොහුුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Related Articles

Back to top button