කපිලගේ මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ නීතිඥයන් සාක්ෂි සඳහා කැඳවීමට අධිකරණය තීරණය කරයි

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය සඳහා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම් සාක්ෂි සඳහා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.

ඔවුන් සාක්ෂි සඳහා කැඳවමින් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (02) සිතාසි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරුගේ ජංගම දුරකතනය FBI හරහා අමෙරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කිරීමට අධිකරණ අමාත්‍යාංශය මඟින් පියවර ගනිමින් සිටින බව කොළඹ කොට්ඨාසය අද අධිකරණය හමුවේ දන්වා සිටි අතර එහිදී මරණකරුගේ නිවසේ තිබී හමුවූ කොළ පැහැති බඳපටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීම සඳහා එම කොට්ඨාසය කළ ඉල්ලීමට ද අධිකරණයෙන් අවසර හිමි වුණා.

එමෙන්ම සාක්ෂි ආඥා පනතේ 126 වගන්තිය ප්‍රකාරව සහ ශ්‍රේෂ්ඨාධිකරණ නීති අංක 31 දරන ප්‍රතිපාදන ප්‍රකාරව, කපිල චන්ද්‍රසේන නමැති මරණකරුට ලබා දුන් අවවාදයක් හෝ ඔහුගේ සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම් යන අය වෙත ලබා දුන් ලිඛිත හෝ වාචික කරුණු අනාවරණය නොකිරීමට තීරණය කළ බව ද සිය නියෝගය ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියා.

19 සහ 20 වැනි සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන් දෙදෙනාට සාක්ෂි ලබා දීම සඳහා ලබන 05 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළා. ඒ අනුව නඩුව වැඩිදුර විභාගය සඳහා එම දිනය තෙක් කල් තැබීමටයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත්තේ.