Sports

මෙරට මල්ලවපොර ඉතිහාසය අලුත් කල නෙත්මි දිවයිනට

මෙරට මල්ලවපොර ඉතිහාසය අලුත් කල නෙත්මි දිවයිනට

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ඊයේ (08) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

රුසියානු ක්‍රීඩිකා Valeria Mikitish ලකුණු 06-02ක් ලෙස පරාජය කරමින් ඇය එම තරගාවලියේ කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම පසුගියදා දිනා ගත්තා.

ඒ මල්ලවපොර ලෝක ශූරතා තරඟාවලියකදී පදක්කමක් දිනා ගත් මෙරට පළමු ක්‍රීඩිකාව ලෙස වාර්තාවක් ද තබමින්.

ඇය එම තරඟයේදී විනාඩි 08කට වැඩි කාලයක් තරගයේ නිතර වී ඇත. එය එතෙක් මෙතෙක් මෙරට මල්ලවපොර ක්‍රීඩිකාවක් වැඩි වේලාවක් තරගයේ රැඳී සිටි අවස්ථාව ලෙසින්ද සැලකෙයි.

ඉසව්වේ මූලික වට වල දී ඇය විසින් පිළිවලින් කසකස්තාන, බල්ගේරියා සහ හංගේරියානු ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 10 – 0, 10 – 0ක් සහ 14 – 3ක් ලෙස ජයග්‍රහණ ලබා ගනිමින් ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා ඉදිරියට පැමිණීමට සමත්විය.

ඇය, කුරුණෑගල – පන්නල – වෙල්පල්ල සංඝරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

ස්පාඤ්ඤයේ, පොන්ටෙවෙඩ්පා නගරයේ පැවති මෙම තරගාවලිය වෙනුවෙන් ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

නෙත්මිව පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.

Related Articles

Back to top button