Local News

කොල්ලුපිටියේ වැටලීම සම්බන්ධයෙන් හෙට මාධ්‍යයට ප්‍රකාශයක්

කොල්ලුපිටියේ වැටලීම සම්බන්ධයෙන් හෙට මාධ්‍යයට ප්‍රකාශයක්

දේශපාලන බලපෑම් මත සුරාබදු නොගෙවා කොල්ලුපිටිය ආශ්‍රිතව දෙස් විදෙස් මත්පැන් අලෙවි කළ අලවි සල් කීපයක් වටලා එකී මත් පැන් අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයතු කර ඇතත් එය මාධ්‍යයට අනාවරණය නොකිරීම පිටුපස කිසියම් අදෘෂ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වනවා දැයි සැකයක් ඇති බවට අද ප්‍රධාන මාධ්‍ය කීපයකම වාර්තා කර තිබුණි. 

මේ සම්බන්ධයෙන් අරුණ මීට සුලු වේලාවකට පෙර සුරාබදු වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක රොෂාන් පෙරේරාගෙන් විමසීමක් කළෙමු. මෙවැනි වැටලීමක් සිදු කර ඇති බවට ඔහුටද තොරතුරු වාර්තා වී ඇති නමුත් ඒ කොපමණ ප්‍රමාණයකින්ද යන් පිළිබඳ නිෂ්චිත තොරතුරක් තවම ඔහුට පැවසීමට නොහැකි බව ඔහු පැවසීය. මේ වන විට ගම්පහ ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක නියුතු වන ඔහු අදාල වැටලීම කළ නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ වාර්තාවක් ඉල්ලා ඇති බවත් එය ලැබුණු වහාම හෙට (28) දිනයේදී මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන බවත් හෙතෙම පැවසීය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුර මේ වන විට පුරප්පාඩු වී ඇති බවත් තමන් වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන බවත්, සඳහන් කළ හෙතෙම ඔහුට පැවරී ඇති අනෙකුත් රාජකාරී අතර මාධ්‍ය ප්‍රකාශක කර්තව්‍යය ද සිදු කිරීමේදී යම් යම් ප්‍රමාද දෝශයන් සිදු වන බවද ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවද පැවසීය.

දිවයින පුරාම රාජකාරි කරන විධායක නිලධාරීන් සුරාබදු දෙපාර්තමේන්තුවට සිටින්නේ 10 දෙනකු පමණක් බවද එකී නිලධාරීන්ට කර්තව්‍යයන් දෙක තුනක් කිරීමට සිදු වී ඇති බවත් මේ වන විට දිවයින පුරා සුරාබදු බලපත්‍ර අලුත් කරමින් සිටින බැවින් තමන් ගම්පහ ප්‍ර දේශයේ ඒ සම්බන්ධ රාජකාරියක නිරතවන බැවින් මාධ්‍ය කොල්ලුපිටියේ වැටලීම සම්බන්ධයෙන් අසන පැනවලට නිවැරදි තොරතුරු ලබා දීමට නොහැකි වී ඇති බවත් හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Back to top button