Local News

දේශබන්දු අල්ලන්න CIDයෙන් තවත් පොලිස් කණ්ඩායම් 04ක්

දේශබන්දු අල්ලන්න CIDයෙන් තවත් පොලිස් කණ්ඩායම් 04ක්

වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයද නියෝග කර ඇති පසුබිමක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා තවත් පොලිස් කණ්ඩායම් 04ක් පත් කර තිබෙනවා.

ඒ දැනට පත් කර ඇති පොලිස් කණ්ඩායම් 06ට අමතරවයි.

මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචානාධිකරණ ඊයේ නියෝග කළා.

එමෙන්ම, මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අභියාචනාධිකරණය නියෝග කළේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 27 වැනිදා නියෝග කළේ 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි.

මෙම සැකකරුවන් අතරින් වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උපුල් කුමාර නීතිඥවරයෙකු මාර්ගයෙන් පසුගිය 4 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු ඇප මත මුදා හැරුණා.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර සති තුනකට ආසන්න කාලයක් ගතව තිබුණ ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ දක්වා සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.

එවන් පසුබිමක දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳගෙන් හෝකන්දර පිහිටි නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ සටහන් කරගත්තා.

Related Articles

Back to top button