Local News

රාමේෂ්වරම් ධීවරයින් වර්ජනය අවසන් කරයි

රාමේෂ්වරම් ධීවරයින් වර්ජනය අවසන් කරයි

ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට ගත් සිය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවරයින් දින 8ක් පුරා පැවැත්වූ වැඩවර්ජනය අවසන් කර තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත්වී සිටින ධීවරයින්ගේ පවුල් සඳහා ලබාදෙන ආධාර මුදල් වැඩි කරන බවට ඉන්දීය මහ ඇමති එම්. කේ. ස්ටාලින් විසින් පොරොන්දුවීමත් සමඟය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙතෙක් අත්අඩංගුවට පත් බෝට්ටු අයත් වූ ධීවරයින් සඳහා ලබාදෙන මූල්‍ය ආධාර වන රුපියල් ලක්ෂ 6ක මුදල රුපියල් ලක්ෂ 8 දක්වා වැඩි කිරීමටත්, ලංකාවේදී අත්අඩංගුවට පත් ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා දෛනික ආධාර රුපියල් 350 සිට රුපියල් 500 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් රාමේෂ්වරම් ධීවර සංගම් මහ ඇමතිවරයාට ස්තූතිය පළ කර ඇති බවය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් තමිල්නාඩු රාමේෂ්වරම්  ධීවරයින් මාර්තු 01 වෙනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණි.

විරෝධතාවය හේතුවෙන් රාමේෂ්වරම් ධීවරයින්, පෙබරවාරි 24 වන දින සිට ධීවර කටයුතුවලින් බැහැර විය.

කෙසේවෙතත් මාර්තු 08 වෙනි දින සිට ඔවුන් නැවත ධීවර කටයුතු ආරම්භ කරන බවට දැනුම්දී ඇත.

Related Articles

Back to top button