Local News

වෙඩි තබා ඝාතනය කෙරූ ගල්කිස්ස තරුණයා ගැන තොරතුරු රැසක් එළියට

වෙඩි තබා ඝාතනය කෙරූ ගල්කිස්ස තරුණයා ගැන තොරතුරු රැසක් එළියට

ගල්කිස්සේදී අද (05) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම තරුණයා මාර්ගය පිරිසිදු කරමින් සිටින අතුරතුර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහුට වෙඩි තබා ඇති අතර, පොලිසිය සැක කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවයි.
මෙම වෙඩි තැබීම අද පෙරවරු 6.40ට පමණ සිදුව තිබුණේ ගල්කිස්ස ශාන්ත සිල්වෙස්ටර් මාර්ගයේදීයි.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කරන ප්‍රවීන් නිසන්ක නමැති 19 හැවිරිදි තරුණයෙකු එම වෙඩි ප්‍රහාරයෙන් මියගියා.
ඔහු අද පෙරවරුවේ ගල්කිස්ස ශාන්ත සිල්වෙස්ටර් මාර්ගය පිරිසිදු කරමින් සිටින අතරතුර, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහු පසුකර ගමන් කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා.
වෙඩි වැදුණු තරුණයා ගාලු පාර දෙසට දිව යන අයුරු සහ වෙඩි තැබු පුද්ගලයා යතුරු පැදියෙන් බැස ඔහු පසු පස හඹා යන අයුරු ද එහි දැක්වෙනවා.
එලෙස දිව ගිය තරුණයාට ගල්කිස්ස වෙරළ පාර හන්දිය අසළ වෙළෙඳසැලක් ඉදිරිපිටදී නැවත වෙඩි තබන අයුරුද සටහන්ව තිබුණා.
වෙඩි වැදීමෙන් මියගිය ප්‍රවීන් නිසන්ක නමැති තරුණයා දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිකරුවෙක්.
පොලිසිය පැවසුවේ ඔහු නිම්මි සුමේධා ෆොන්සේකා නොහොත් චතුරි යන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ පුත්‍රයෙකු බවයි.
ඇය බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම්වල නිරත වන බවත්, වෙඩි වැදුණු තරුණයා ද මවගේ එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වන බවත්, පොලිසිය පැවසුවා.
පොලිසිය සඳහන් කළේ චතුරි නමැති කාන්තාව තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කොස්මල්ලි නැමැත්තාගේ ඥාතියෙකු බවට ද වාර්තා වන අතර, බඩෝවිට අසංක සහ කොස්මල්ලි අතර කලක් සිට ගැටුම් පවතින බවද පොලිසිය සඳහන් කළා.
පොලිසිය සැක කරන්නේ දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි.
මෙම වෙඩි තැබීමත් සමඟ වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 42ක් වාර්තා වන අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් ගණන 29ක්.
ඊයේ දිනයේදීත් කළුතර නාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
එම වෙඩි ප්‍රහාරයට ලක්වුණේ මෙවර පළාත් පාලන ඡන්දයට කළුතර මහ නගර සභාවේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින අයෙක්.
පොලිසිය පැවසුවේ එම වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කළුතර රජවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනයේ කිරීමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකු බවයි.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
පෙරේදා රාත්‍රියේදීත් මීටියාගොඩ ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදුව තිබු අතර, ඒ අනුව ගතවූ දින දෙක තුළ පමණක් වෙඩි තැබීම් 3කින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියා.

Related Articles

Back to top button