
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.
මෙහිදී රජයේ ප්රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව විශේෂ අවධානය යොමුව තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී ජනතාවට වැඩි ප්රතිලාභ ලබාදෙන පොදු ඩිජිටල් යටිතල පහසුකම් සඳහා වූ විසඳුම් කඩිනම් කිරීම සහ විද්‍යුත් ජාතික හැඳුනුම්පත, ගව් පේ රාජ්‍ය ගෙවීම් පද්ධතිය, ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය හා ඩිජිටල් ආර්ථික ආදායම් ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබුණා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේත්, ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේත් කටයුතු පුළුල් කිරීම පිළිබඳව මෙන්ම නව නීති මගින් ඩිජිටල් ආර්ථික අධිකාරිය හා සයිබර් ආරක්ෂණය පිළිබඳ ආයතන පිහිටුවීම පිළිබඳ යෝජනාද මෙහිදී සමාලෝචනය කර තිබෙනවා.



