
ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාල පෙරහර හේතුවෙන්, අද (24) සිට අගෝස්තු 26 දක්වා කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ හික්කඩුව සහ කහව අතර රථවාහන ගමනාගමනයට සීමා පනවා ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව, අද (24) දිවා පෙරහර දහවල් 1.00 සිට රාත්‍රී 10.00 දක්වාත්, අගෝස්තු 25 සහ 26 යන දෙදින මහ පෙරහර රාත්‍රී 7.00 සිට අලුයම 2.00 දක්වාත් පැවැත්වෙන කාලසීමාව තුල රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
මෙම පෙරහර ගමන් කරන කාලසීමාව තුළ හික්කඩුව හන්දියේ සිට කහව හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය භාවිත කිරීම සීමා කරනු ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව, විකල්ප මාර්ග ලෙස කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහන සඳහා කහව හන්දියෙන් වමට හැරී, මීටියාගොඩ, කිරලගහවෙල, අලුත්වල සරණ හන්දියෙන් දකුණට හැරී ගෝනපීනුවල හරහා කුමාරකන්ද හන්දියෙන් නැවත ගාල්ල පාරට පිවිසිය හැකියි.
ගාල්ල සිට කොළඹ දක්වා ගමන් කරන වාහන සඳහා හික්කඩුව නගරයෙන් හැරී, ගෝනපීනුවල, දුවත්ත හන්දිය, අම්පේගම, බටපොල නගරය සහ තිලකපුර මාර්ගය ඔස්සේ අම්බලන්ගොඩ රොසෙත් හන්දියෙන් නැවත ගාල්ල පාරට පිවිසිය හැකියි.



