
ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට අද ( 2 ) දින උදෑසන කඩාවැදුණු ආණ්ඩුවේ පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහරදෙමින් බලහත්කාරයෙන් කාර්යාලය අත්පත් කරගැනීමට උත්සාහ කරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරනවා.
පුද්ගලයන් 100කට වැඩි පිරිසක් මෙසේ කඩු පොලු රැගෙන කාර්යාලයට කඩා වැදී තිබෙන අතර එම පිරිසට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන්ද අයත් බවයි ඔහු පවසන්නේ.
මෙම මෙලෙච්ඡ ප්‍රහාරය නැවැත්වීම සඳහා පොලීසිය කිසිඳු මැදිහත් වීමක් සිදුකර නොමැති බවට ඔහු චෝදනා නඟනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කණ්ඩායම සතු වූ මෙම කාර්යාලය දැනට අවුරුදු 14ක් තිස්සේ එම පක්ෂය විසින් පරිහරණය කරනවා.
මෙම පක්ෂයේ මැතිවරණ කටයුතු, පක්ෂ සංවිධාන කටයුතු, බහුජන මැදිහත් වීම් ආදී සියලු නිල කටයුතු මෙම ස්ථානය මූලික කරගෙන ක්‍රියාත්මක වුණා.
නඩු තීන්දුවක් ඇතැයි පවසමින් ආණ්ඩුවේ පිරිස් මෙම ස්ථානයට කඩා පැනීම කිසිසේත්ම යුක්ති සහගත නැති බවයි පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ.
මෙම පහරදිමෙන් තුවාල ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මෙහිදී මාධ්‍ය වෙත පැවසුවේ මෙම පහරදීම සිදු කර ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් බවයි.
යම් ස්ථානයකින් ඉවත් කිරීමට අවශ්‍ය නම් නිත්‍යානුකූලව ෆිස්කල් නියෝගයක් සමඟ පැමිණිය යුතු බවත්, අදාල ස්ථානයේ තමන්ගේ පක්ෂයට අයත් බඩු බාහිරාදිය භාණ්ඩ මෙන්ම පුස්තාකාලය සතු පොත්පත් විශාල ප්‍රමාණයක් තිබෙන බව ද සුජිත් කුරුවිට සඳහන් කළා.
ආණ්ඩුව විසින් රජයේ කාර්යාල පවිත්‍ර කිරීම යැයි පවසමින් ව්‍යාපෘතියක් පටන් ගෙන දැන් එය තමාට විරුද්ධ මත දරන දේශපානලන පක්ෂවල කාර්යාලවලට පහරදීමේ උපක්‍රමයක් දක්වා වෙස් මාරු කිරීම පිළිකුල් සහගත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ පිළිබඳ අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පැවසුවේ මේ පිළිබඳ මෙතෙක් තමා වෙත වාර්තා වී නොමැති නමුත් නඩු කටයුත්තක් සම්බන්ධයෙන් යම් සිද්ධියක් වාර්තා වී ඇති බවත් වැඩිදුර තොරතුරු ලැබුණු පසු ඒ පිළිබඳ දැනුවත් කරන බවයි.



