Local News

කහතුඩුවේ සිසුවා පැහැර ගැනීමේ සිද්ධිය: පියාගෙන් අලුත් පා පැදියක් මිලදී ගැනීම සඳහා සිසුවා කළ සැළසුමක්

කහතුඩුවේ සිසුවා පැහැර ගැනීමේ සිද්ධිය: පියාගෙන් අලුත් පා පැදියක් මිලදී ගැනීම සඳහා සිසුවා කළ සැළසුමක්

මීට දෙමසකට ඉහතදී  සුදු වෑන් රථයකින් 15 හැවිරිදි තුන් කුළුඳුල් පාසල් සිසුවකු කහතුඩුව ප්‍රදේශයේදී  පැහැරගෙන ගිය බව කියන ආන්දෝලනාත්මක සිද්ධියට අදාළ දරුවා සිය  පියාගෙන් අලුත් පාපැදියක් ලබාගැනීමේ අරමුණින් එම සිසුවා විසින්ම කරන ලද සැලසුමක් බවට හෙළිව ඇතැයි කහතුඩුව පොලීසිය පවසනවා.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔහු පදවාගෙන ගිය පැරණි පාපැදිය කහතුඩුව මිනුවන්විල  කැලයේ සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

සිසුවා සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණේ, ඉකුත්  ජූලි මස 16 වෙනිදින සවස  04.10 ට පමණ අමතර පන්ති යාම සඳහා පාපැදියෙන් නිවෙසින් පිට වූ අතර, මීටර් 100 ක් පමණ යාමේදී පාපැදියේ චේන් එකක් ගැලවුණ බවත් අනතුරුව එය නැවත සකසාගෙන මීටර් 700  ක් පමණ දුරක් පාපැදිය පදවාගෙන ගිය බවත් ය.

එසේ යාමේදී නිවෙස් නොමැති  ප්‍රදේශයේ නවතා තිබූ සුදු පැහැති කුඩා වෑන් රථයක සිටි පුද්ගලයකු වෑන් රථන් බැස තමා අසලට පැමිණ උල් පිහියක් පෙන්වා බිය ගන්වා “වෑන් එකට නැගපන්” යනුවෙන් පැවසූ අවස්ථාවේ තමා බියට පත්ව කෑගැසූ බවත්, එය කිසිවකුට නොඇසුණු බවත් දරුවා සිය ප්‍රකාශයෙන් සඳහන් කර තිබූ බව පොලීසිය පවසනවා.

පසුව පාපැදිය ද වෑන් රථයට දමාගෙන ගිය බවත් තමන්ට පාර නොපෙනෙන අයුරින් ඔවුන් වාහනයෙන් රැගෙන ගිය බවත් සිය පැමිණිලෙන් දක්වා ඇති සිසුවා ටික දුරක් ගියපසු පෙට්ටි කඩයක් පසුකර වාහනය නැවත වූ බවත් එම අවස්ථාවේදී වර්ෂාව හේතුවෙන් අවට කළුවර වී තිබූ බවත් සිසුව පොලිසිය හමුවේ පවසා තිබිණා.

වෑන් රථයේ රියදුරු සහ අනෙක් පුද්ගලයා කඩේකට ගිය පසු තමා වෑන් රථයෙන් බැස  මීටර් 500 ක්  දිව ගොස් අසල පාන් බේකරියට ගොස් එහි සිටි කාන්තාවකට හා පිරිමි පුද්ගලයාට  තමාට සිදුවූ සියල්ල පැවසූ බවත් සිසුවා පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබිණා.

ඔවුන් විසින් 119 හරහා පොලිසියට දැනුම්දීමෙන් අනතුර රත්නපුර පොලිසියේන් පැමිණ තමාව රැගෙන ගිය බවත් සිසුවා වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා තිබිණා.

එම සිසුවා කළ ප්‍රකාශ  අනුව   කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ ඇතුළු කණ්ඩායමක් රත්නපුර ප්‍රදේශයට ගොස් කළ විමර්ශනයකදී එම සිසුවා වෑන් රථයෙන් බැස දිවූ බව කියන ප්‍රදේශයේ සීසීටීවී දර්ශන  පරික්ෂා කිරීමේදී ඔහු කිසිදු කලබලයක් නොමැතිව පා ගමනින් ගමන් කරන අයුරු දැක්වෙන දර්ශනයක් හමුව තිබූ බව පොලිසිය පවසනවා.

ඊට අමතරව ඔහුට අමතර පන්ති යන අවස්ථාවේදී අමතර ඇඳුමක්ද ගමන් බෑගයේ දමාගෙන ගොස් තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබූ  අතර  එයද පොලිසියට සැකයට  බඳුන්ව තිබුණා.

ඊටත් අමතරව සිසුවා පවසන ආකාරයට ඔහු පැහැරගත් බව කියන සුදු පාටට හුරු  කුඩා වෑන් රථයක්  ධාවනය වන දර්ශන තිබේදැයි සොයා රත්නපුර සමන් දේවාලය අසල සිට රත්නපුර දෙසට සීටීවිවි දර්ශන 20 ක ආසන්න ප්‍රමාණයක් එම දිනවල පොලිස් නිලධාරීන් පරීක්ෂා කළද  එවැනි කිසිදු වෑන් රථයක් ධාවනය නොවන බවද අනාවරණය වුණා.

ඒ අනුව සීසීටී දර්ශන 50 කට ආසන්න ප්‍රමාණයක් දැඩි පරික්ෂාවට ලක් කළද සිසුවා පවසන ආකාරයට කිසිදු පැහැර ගැනීමකට හෝ සුදු පැහැයකට හුරු වෑන් රථයක් ධාවනය වන  අවුරුදු අයුරු දැක්වෙන දර්ශන එම සීසී ටී ටීවී දර්ශනවලින් අඩංගු නොවූ බව විමර්ශන නිලධාරියෙක් පැවසුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනකුට අධික ප්‍රමාණයකින් ප්‍රකාශ ද ලබා ගත් බව පොලිසිය සඳහන් කළා.

සිසුවාගේ පාසලේ සමීප මිතුරන් තිදෙනෙකුගෙන් වරින් වර කළ ප්‍රශ්න කිරීමේදී සිසුවා පවසන ආකාරයට යම්කිසි පිරිසක් ඔහු පැහැරගැනීමක් සම්බන්ධයෙන් තොරතුරක් නොපවසන බවත් පැරැණි පාපැදිය වෙනුවට  අලුත් පාපැදියක් පියාට පවසා  මිලදී ගන්නා බව තොරතුරු පමණක්  ඔහු   පවසන බවට පොලිසිය අනාවරණය කර ගැනීමට සමත් වී තිබුණා.

ඒ අනුව සිසුවාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී තම සමීප මිතුරන්ට අලුත් පාපැදි ඇති බවත් තම පියාට යහමින් මුදල් ඇති හෙයින් අලුත් පාපැදියක් පියා ලවා මිලදී ගැනීමේ අරමුණින් තමා  පැහැර ගත් බවට මෙය නිර්මාණය කළ බවත්, තම පැරණි පාපැදිය මිනුවන්විලි කැලේ සැඟවූ බවත් පාසල් සිසුවා පොලිස් නිලධාරින් හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

අනතුරුව හොරණ නගරයට බස් රථයෙන් ගොස් රත්නපුරය දක්වා ගමන් ගන්නා බස් රථයක නැග ගමන් කිරීමේදී තමන්ට නින්ද ගිය බවත් අවදි වූ පසු බස් රථයෙන් බැස්ස බවත් එලෙස බැස්ස ස්ථානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවත් සැකකාර පාසල් සිසුවා පොලිසියේ සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

‘මම දැනගත්තා මාව පොලිසියට අහුවෙන්නයි යන්නේ මම ඒ හින්දා මේ සම්බන්ධයෙන් මම අම්මටත් ඇත්තම කිව්වා සර්’ යනුවෙන් එම සිසුවා වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා තිබුණා.

සැකකාර පාසල් සිසුවා බාල වයස්කාර දරුවෙක් බැවින් ඒ සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කරනවා.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර සහකාර පොලිස් අධිකාරී එම් ඩි ඩි නිලංගගේ උපදෙස් මත කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රජිත ගුරුසිංහ ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා.

Related Articles

Back to top button