
පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඇතිවූ සාකච්ඡාවලින් අනතුරුව දැනට ක්‍රියාත්මක වන සටන් විරාමය මැයි 18 වන දින දක්වා දීර්ඝ කිරීමට එකඟ වූ බව පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සඳහන් කරනවා.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු පවසා ඇත්තේ, දෙරටේ හමුදා භටයන් සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කළ බවත්, දේශපාලන සංවාදයක් සමග ඉදිරියට යාමට සැලසුම් කර ඇති බවත්.
සටන් විරාමය ප්‍රථමයෙන් මැයි 10 වන දින සිට මැයි 12 වන දින දක්වා පැවතීමට එකඟ වූ නමුත් පසුව එය මැයි 14 වන දින දක්වා දීර්ඝ කරන ලද අතර මේ වනවිට එය මැයි 18 දක්වා තවදුරටත් දීර්ඝ කළ බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම මැයි 18න් පසු පුළුල් දේශපාලන සාකච්ඡා ආරම්භ වන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
කාශ්මීරයේ පිහිටි පහල්ගම් හි සිදු වූ වෙඩි ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, මැයි 7 වන දින අලුයම ඉන්දියාව පාකිස්ථානයේ ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආතතීන් උත්සන්න විය.
එහිදී හඳුනා නොගත් තුවක්කුකරුවන් විසින් සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කළා.
දින කිහිපයක දරුණු සටන්වලින් පසුව, දෙපාර්ශ්වයම මැයි 10 වන දින සටන් විරාමයකට එකඟ වූ අතර පසුව එය අදියර වශයෙන් මෙලෙස දීර්ඝ කර තිබෙනවා.



