Local News

කටුනායක ගුවන්තොටුපොළට ආ ගුවන් යානා කිහිපයක් හරවා යවයි

කටුනායක ගුවන්තොටුපොළට ආ ගුවන් යානා කිහිපයක් හරවා යවයි

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 4ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථය නිසියාකාරව නොපෙනීම හේතුවෙන් එම ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළට සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත යොමු කර ඇත.

ඒ අනුව අද අලුයම 5ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226, චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ අලුයම 05.05ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට අද අලුයම 6.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ- 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණි.

මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කළ ශ්‍රීලන්කන් ගුවන් යානා වෙත ඉන්ධන ලබා දී තිබූ අතර, එම ගුවන් යානාවල පැමිණි ගුවන් මගීන් පිටතට බස්සවා නොතිබුණි.

මෙසේ වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ සියලුම ගුවන් යානා අද උදෑසන 09.00 පමණ වනවිට යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේම අද උදෑසන 07.00 පමණ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති ඝන මීදුම් තත්ත්වය ක්‍රමයෙන් පහව ගොස් තිබූ අතර, ඉන්පසුව කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි සියලුම ගුවන් යානා, ආපසු හරවා යැවීමකින් තොරව සාමාන්‍ය පරිදි, කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගත් බව ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

Back to top button