ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ 2024 අගෝස්තු මස 16 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ වෙත නිල වශයෙන් 2024 අගෝස්තු මස 26 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකළ බව නාවික හමුදාව නිවේදනය කරනවා.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් කාංචන බානගොඩ, 1989 වර්ෂයේදී 19 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී තිබෙනවා.
ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර, 1991 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1993 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, දියයට මුහුදු සංග්‍රාමික දීර්ඝ පාඨමාලාව ඉන්දීය නාවික නෞකා වෙන්දුර්තිහී දියයට මුහුදු සංග්‍රාමික පුහුණු පාසල වෙතින් 2000 වර්ෂයේදී හදාරා තිබෙනවා.
අනතුරුව ඔහු 2022 වර්ෂයේ මැයි මස 04 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇති අතර, බංගලාදේශ අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් 2009 වර්ෂයේදී අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඔහු, 2015 වර්ෂයේදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වෙතින් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති (මානව සම්පත් කලමණාකරනය) උපාධියද, 2019 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ඇති අතර, 2021 වර්ෂයේදී ජාතික ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යනය පාඨමාලාව, කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනයෙන් සාර්ථකව හදාරා තිබෙනවා.
තිස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා තිබෙනවා.
සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට තිබෙනවා.
තවද, අධ්‍යක්‍ෂ නාවික පුහුණු, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කර ඇති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වීමට පෙර නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරනු ලැබුවා.