
අපරාධ නඩු විධාන සංග්‍රහය පොතක් තුළ පිස්තෝල අවියක් සඟවාගෙන කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළට රැගෙන විත්, පාතාල කල්ලි නායක ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට, කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) තුළ උපන්දින සාදයක් පැවැත්වීමට ඉඩකඩ සලසා දුන්නැයි කියන සිද්ධියට අදාලව එහි ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ නියෝගය පරිදි, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මෙලෙස පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆ්‍රෙඩ්රික් වුට්ලර් තහවුරු කළේ.
රඳවා තබා ගැනීමේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි නමැති 27 හැවිරිදි සැකකාරිය, සිය උපන්දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් කපා එම කොට්ඨාසයේ කාමරයක් තුළ සාදයක් පැවැත්වීමට සූදානම් වන බවට කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායමක් කොළඹ අපරාධ කොට්ඨාසය වටලා අදාළ සාදය වැළැක්වීමට පියවර ගෙන තිබුණා.
මෙම බරපතළ විනය කඩකිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
අධිකරණ ශාලාවක් තුළදී මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමට මඟ සැලසූ බවට චෝදනා ලැබ සිටින මෙවැනි සැකකාරියකට, පොලිස් භාරයේ පසුවන අතරතුර මෙවැනි වරප්‍රසාද හිමිවීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී ඇති අතර විමර්ශන වාර්තාව ලැබුණු පසු ඉදිරි විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පොලිසිය පවසනවා.



