කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන East West Properties PLC සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඊයේ (29) පැවති සමාගමේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක දී මෙම තීරණය ගනු ලැබූ බව East West Properties PLC වෙනුවෙන් එහි ලේකම් සමාගම වන SSP Corporate Services (Pvt) Ltd විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
East West Properties PLC හි විධායක සභාපතිවරයා වන නහිල් විජේසූරිය මහතා සමාගමේ විශාලතම කොටස් හිමියා වන අතර East West Properties PLC හි කොටස් ප්රාග්ධනයෙන් 36.99% කට ඔහු හිමිකම් කියනු ලබන අතර ඔහු ද ඇතුළුව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් සමාගමේ කොටස් ප්රාග්ධනයෙන් 83%කට වඩා වැඩි ප්රමාණයකට හිමිකම් කියනු ඇත.
මෙම සන්දර්භය තුළ සමාගමේ සෙසු කොටස් හිමියන් සතු කොටස් යළි මිල දී ගැනීම සඳහා සමාගමේ විශාලතම කොටස් හිමියා වන නහිල් විජේසූරිය මහතා සමඟ කටයුතු සංවිධානය කිරීමට එහි අධ්යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇත. එහිදී එක් කොටසක් රු. 16.00 බැගින් යළි මිල දී ගැනීමට යෝජනා වී තිබේ.
මෑත කාලීනව ලැයිස්තුගත සමාගම් කිහිපයක්ම කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට කටයුතු කළ අතර මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් ද ඒ අතර විය. මීට අමතරව හේලීස් සමූහයේ සමාගමක් වූ Unisyst Engineering PLC සමාගම ද නොබෝදා කොටස් වෙළෙඳපොළෙන් ඉවත්විය.
Aitken Spence Plantation Management PLC සමාගම ද මේ වන විට කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර නෙස්ලේ, Shalimar (Malay), Selinsing, Good Hope සහ Indo Malay පසුගිය කාලයේ දී එලෙස කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වූ තවත් සමාගම් කිහිපයකි.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ අද උදෑසන කියා සිටියේ East West Properties PLC හි මෙම තීරණයක් සමඟම එම සමාගමේ කොටස් ගනුදෙනු අද (30) සිට අත්හිටුවනු ලබන බවයි.