World

බටහිර අප්‍රිකාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙයි.

බටහිර අප්‍රිකාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙයි.

බටහිර අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් වූ මොරිටේනියාවේ මගීන් 300ක් රැගත් බෝට්ටුවක් පසුගියදා (22) පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් 150කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ ඒජන්සිය පවසා ඇත්තේ, මොරිටේනියානු වෙරළාරක්ෂක බලකාය විසින් පුද්ගලයින් 120 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර, අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් දියත් කර ඇති බවයි.

එමෙන්ම දිවි ගලවා ගත් අය අතර සිටි පුද්ගලයින් 10 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර තිබෙනවා.

එම ප්‍රදේශයේ පසුගිය දින දෙක තුළ ඇති වූ තද සුළං හේතුවෙන් මළ සිරුරු 30ක් පමණ වෙරළෙන් ගොඩ ගසා ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඒ අනුව, ඉතුරු මළ සිරුරුද එසේ ගොඩ ගසනු ඇතැයි බලධාරීන් බලාපොරොත්තුවන බවයි වාර්තා වෙන්නේ.

බටහිර අප්‍රිකාවේ වෙරළේ සිට කැනරි දූපත් දක්වා අත්ලාන්තික් සංක්‍රමණ මාර්ගය සරණාගතභාවය හෝ යුරෝපයේ රැකියා අවස්ථා අපේක්ෂා කරන අප්‍රිකානු ජනතාව විසින් භාවිතා කරනු ලබන අතර, එය ලෝකයේ මාරාන්තිකම මාර්ගවලින් එකක්.

Related Articles

Back to top button