
බංග්ලාදේශයේ පවතින ප්‍රචණ්ඩ විරෝධතා මධ්‍යයේ ඉන්දියාව සිය ජාතිකයින්ට නැවත දැනුම් දෙන තුරු බංග්ලාදේශයට යාමෙන් වළකින ලෙස උපදෙස් දී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය ද දැනට බංග්ලාදේශයේ වෙසෙන ඉන්දීය වැසියන්ට දැනුම් දී ඇත්තේ, අතිශයින්ම සුපරීක්ෂාකාරී වන ලෙසයි.
එමෙන්ම, එම ජනතාවට අත්‍යවශ්‍ය නොවන ගමන්බිමන් සීමා කරන ලෙසත් ඉන්දීය තරයේ අවවාද කර තිබෙනවා.
ඒ අනුව, නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, “සිදුවෙමින් පවතින වර්ධනයන් සැළකිල්ලට ගනිමින්, නැවත දැනුම් දෙන තුරු බංග්ලාදේශයට යාමෙන් වළකින ලෙස ඉන්දියානු ජාතිකයින්ට දැඩි ලෙස උපදෙස් දෙනු ලැබේ,” යනුවෙන්.
තවද දැනට බංග්ලාදේශයේ සිටින සියලුම ඉන්දියානු ජාතිකයින්ට දැඩි ප්‍රවේශම් සහගතව, ඔවුන්ගේ ගමන්බිමන් සීමා කර සම්බන්ධතා පවත්වන්නැයි උපදෙස් දී ඇති අතර, ඩකා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයයේ ඔවුන්ගේ හදිසි දුරකථන අංක සමග සම්බන්ධ වී සිටින ලෙස ද දැනුම් දී තිබෙනවා.
බංග්ලාදේශයේ මේවනවිට පවතින විරෝධතා හේතුවෙන් පුද්ගලයින් සියයකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර, අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට ධූරයෙන් ඉවත් වන ලෙස බල කරමින් විරෝධතා තව දුරටත් ක්‍රියාත්මකයි.



